මහ මැතිවරණය සහ රටේ පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ දේශපාලකයින් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පල කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ මහ මැතිවරණයට අදාළ නාම යෝජනා ලබා දීමේදී තරුණ කණ්ඩායම් සඳහා වැඩි අවස්ථාවක් දිස්ත්‍රික් මට්ටමින් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
වර්තමාන රජයට අභියෝගයක් එල්ල කිරීමට නම් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
තම කණ්ඩායමට ආණ්ඩු බලය ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර සියලු දෙනා එක්වී ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති බවයි ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
වර්තමාන රජය මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම රජයේ වගකීම බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ රජයේ ඉදිරි වැඩකටයුතු සඳහා සමගි ජන බලවේගයේ සම්පූර්ණ සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.