Thursday, November 7, 2024

General line - 0115112241

කිඹුලෙකුගේ ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියයයි




කිඹුලෙකු සපා කෑමෙන් ශ්‍රී පුර, ගැමුණුපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඒ, මොර ඔයෙන් එගොඩ වීමට යාමේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන යාමෙන් අනතුරුවයි.

මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිටි ඇති අතර නිවසේ තිබූ මස් රැගෙන ඒමට නැවත ඔයෙන් එගොඩ වීමේදී කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පොලීසිය පවසන්නේ මෘත ශරීරයේ කොටසක් කිඹුලා විසින් කා දමා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

මරණකරු වයස අවුරුදු 60 ක් වන ගැමුණුපුර, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ශ්‍රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර පෑලියගොඩ, කැලණි ගගේ සිඟිති උයන නාන තොටුපලේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත පෑලියගොඩ පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදීයි.

පොලිසිය පැවසුවේ මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන උස අඩි 05යි අඟල් 06 ක් සහ අවසන් වරට කළු පැහැති දිග කලිසමක් හැඳ සිටි පුද්ගලයෙකු බවයි.

කෙසේවෙතත් මරණකරුගේ අනන්‍යනතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.