හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් බලංගොඩ, කල්තොට, වැලිපතයාය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ හිටපු සෙබලෙක්.
ඔහු මෙම වෙඩි තැබීම සිදුකර වැලිපතයාය ප්‍රදේශයේ සැගව සිට තිබෙනවා.
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන ලලිත් කන්නංගර නමැත්තා විසින් බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඩුබායිහි සිටින ඔහු අවස්ථා කිහිපයකදී අදාළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් හංවැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති බවද වාර්තා වුණා.
එවන් පසුබිමක් තුළ කප්පම් නොදීම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 30 වනදා රාත්‍රී වෙඩික්කරුවෙකු විසින් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිටට පැමිණ වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩික්කරු විසින් මුහුණ ආවරණය කර ගනිමින් ව්‍යාපාරිකයාගේ නිවසෙහි පිටුපස තාප්පයෙන් පැන වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
ආරක්ෂක අංශ සාමාජිකයින් මෙහෙයුම් සඳහා එක්වන ආකාරයට වෙඩික්කරු විසින් ටී 56 ගිනි අවියක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව මෙම වෙඩික්කරු ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙකු බවට පොලිසිය මුල සිටම සැකකර තිබුණා.
වෙඩි වැඩීමෙන් බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහල වෙත රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත් වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානය, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා.
ඒ අනුව වෙඩි තැබීම සිදුකල සැකකරු බලංගොඩ, කල්තොට, වැලිපතයාය ප්‍රදේශයේදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.