රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනු කෙරුණු පෙත්සමක් නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ, පාස්කු ඉරු දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුනු පෙත්සමකට අදාළවයි.
සමාජ හා සාමයික කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව පොලිස් කොමිසම විසින් තම සේවාදායකයාට එරෙහිව නව විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නා.
ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරනවාද ? එසේ නැත්නම් ඉල්ලා අස්කරනවාද? යන්න සලකා බැලීම සඳහා නොවැම්බර් 13 වෙනිදා කැඳවන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.