Wednesday, November 6, 2024

General line - 0115112241

N Series සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර වෙනුවට P series සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර සඳහා අධිකරණ අනුමැතිය

උදය කුමාර




N Series සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර වෙනුවට P series සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා අධිකරණය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක්  ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. 

මිලදී ගැනීමට නියමිත සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර වලට අදාළ ආරක්ෂක පද්ධති සහ ඊට අදාළ බලපත්‍ර ගාස්තු ඇතුළු කරුණු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා වැඩබලන ආගමන හා විගමන පාලක විසින් පත්කර තිබෙනවා.

අදාළ පංච පුද්ගල කමිටුව විසින් ගනු ලබන තීරණ නොපමාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේ.

එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර, එනම් N Series වර්ගයේ විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත්දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. 

ඉන් අනතුරුව ආගමන සහ විගමන පාලකවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ගමන් බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන මහජනතාවට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇති බවයි ඉකුත් ඔක්තෝබර් මස 01 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ ද එකඟත්වය පරිදි සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස් දහසක් සුදුසු සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමට හැකිවන පරිදි අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට ඉකුත් 01 වනදා තීරණය කළා.

අදාල මෝසම අද සලකා බැලූ අවස්ථාවේදී, මිලදී ගැනීමට යෝජිත විදේශ ගමන් බලපත්‍ර වලින් ඇතැම් ආරක්ෂක අංග ඉවත් කර ඇති බවත් ඒවා මහජනතාව වෙත නිකුත් කිරීමේදී සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවත් එපික් ලංකා පුද්ගලික සමාගම පෙන්වා දී තිබෙනවා. 

ඉන් අනතුරුව අදාළ පෙත්සම යළි නොවැම්බර් මස 06 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියෝග කළේ. එමෙන්ම ඊ පාස්පෝට් මිලියන 05 ක් මිලදී ගැනීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය එදින දක්වා තවදුරටත් එලෙසම බල පැවැත්වෙන බවත් අධිකරණය සඳහන් කළා.