Wednesday, November 6, 2024

General line - 0115112241

මෙවර මහමැතිවරණයෙන් දන්න කියන පිරිසක් හැළෙයි




මෙරට නම් දැරූ දේශපාලඥයින් පිරිසක් මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට මේ වන විටත් තීරණය කර තිබෙනවා.

ආන්දෝලනාත්මක චරිතයක් වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද ඒ අතරට අයත්. මෙවර මහමැතිවරණයට තරඟ නොකරන්නේ ඇයි?

කෙසේවෙතත් මෙරට දේශපාලනයේ කතාබහට ලක්වූ තවත් චරිත කිහිපයක්ම මෙවර මහමැතිවරණයට තරඟ වැදීමට සූදානමින් පසුවනවා.

මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා.

මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙවර මහමැතිවරණයට තරඟ වැදීමට තීරණය කර ඇත්තේ ගෑස් සිලින්ඩරයේ ලකුණින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින්. 

මේ අතර එළඹෙන මහමැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් කිහිපදෙනෙකුම තරඟ නොකිරීමටයි තීරණය කර ඇත්තේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඒ අතරට අයත්.

ඉකුත් ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ මහතාගේ නමද ඇතුළත් කර ඇත්තේ ජාතික ලැයිස්තුවටයි. 

මේ අතර මේ වන විට මව්බිම ජනතා පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතාද මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ද මහමැතිවරණයට තරඟ වදින්නේ නැහැ.

ජනාධිපති ධුර අපේක්‍ෂකයෙකු වූ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද මෙවර මහමැතිවරණයට තරඟ නොකරනු ඇති බවටයි වාර්තා වන්නේ.

දීර්ඝ කාලයක් දේශපාලනයේ සිටි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතාද මෙවර තරඟ වදින්නේ නැහැ.