Saturday, November 2, 2024

General line - 0115112241

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් යන එන රංගන ශිල්පිණියකගේ නිවසක තිබූ සැප වාහනයක් පොලිස් භාරයට




මිරිහාන, සාලාව පාරේ නිවසක නවතා තිබූ සුඛෝපභෝගී රථයක් පොලිසිය අද සිය භාරයට ගත්තා.

නීති විරෝධී ලෙස එකලස් කරන ලද අංක තහඩු නොමැති වාහනයක් එලෙස සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ වාහනය නවතා තිබුණේ රංගන හා නිරූපන ශිල්පිනියකගේ නිවසක බවයි වාර්තා වුණේ. ඇයගේ නිවසට මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු නිරන්තරයෙන් පැමිණෙන බවද වාර්තා වුණා.

අදාළ වාහනය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මිරිහාන හා මහරගම පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් එම නිවසට ඊයේ පෙරවරුවේ පැමිණ තිබුණා.

කෙසේවෙතත් එම අවස්ථාවේ අදාළ නිවසේ කිසිවෙකුත් රැඳී සිට නැහැ.

අදාළ රංගන ශිල්පිනියකගේ මවගේ දුරකථනයට පොලිසිය විසින් දුන් ඇමතුමකට ඇය ප්‍රකාශ කර ඇත්තේ සිය දියණිය මෙම අවස්ථාවේ අනුරාධපුරය ප්‍රදේශයට ගොස් ඇති බවයි.

දියණිය යළි කොළඹට පැමිණීමට දින කිහිපයක් ගතවන බවද ඇය දුරකථන ඇමතුමට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර තිබෙනවා. 

අදාළ වාහනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට පොලිසිය කළ දැනුම් දීමකට අනුව එම රංගන ශිල්පිනියගේ ඥාතිවරයෙකු මිරිහාන ප්‍රදේශයේ එම නිවසට අද පෙරවරුවේ පැමිණ තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයට යළි පැමිණි පොලිස් නිලධාරින් අදාළ වාහනය පොලිසිය වෙත රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ද මිරිහානේ පිහිටි අදාළ නිවසට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.