Saturday, November 2, 2024

General line - 0115112241

දුන්හිඳ බස්රථ අනතුරෙන් දිවි අහිමි වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු  ගැන තීරණයක්




බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යංශය පැවසුවේ 23 හැවිරිදි වියේ පසුවූ කුරුණෑගල සහ නිවිතිගල ප්‍රදේශවල පදිංචිව සිටි සිසුවියන් දෙදෙනෙක් එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අයත් එම බස් රථය පෙරළී යාමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනා තවදුරටත් බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

එම පිරිසට විශ්වවිද්‍යාල සිසුන් 36ක්, ආචාර්යවරුන් තිදෙනෙක්, යුද හමුදා හා නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහ බස් රථයේ රියදුරා අයත් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් අතරින් 06 දෙනෙකු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පැල්ගහතැන්න ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිස පුහුණු වැඩසටහනක් සඳහා රන්දෙනිගල බලා යමින් සිටියදී මෙම අනතුර සිදු වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 42 දෙනෙකු ගමන් කරමින් සිටියා. 

තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය ප්‍රපාතයකට පෙරළී සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එහි රියදුරු විසින් ප්‍රතිවිරුද්ධ දිශාවට බස් රථය හැරවීමේදී කණ්ඩියක ගැටී එය පෙරළීගොස් ඇති බවට මේ වන විට සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

අනතුර සිදුවූ මොහොතේ තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමටත් කටයුතු කළ ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාට හා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුදකරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.