අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළා.
අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමේ අරමුණින් ඉකුත් කාලයේ අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී අමාත්‍යාශය විසින් ගෙන තිබූ තීරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.
ඒ.එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වර්තමානයේ රට තුළ පවතින අලි අගල් පිළිබඳව තම සංවිධානය සතුව තොරතුරු කිසිවක් නොමැති බව පෙන්වා දුන්නා.
ඒ අනුව අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ.
ඉන් අනතුරුව පෙත්සම ලබන මාර්තු මස 27 වනදා කැඳවීමට ද නියම වුණා.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ අලි අගල් කැපීමේ වැඩසටහන මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන අතර අලි ඇතුන් දරුණු අනතුරුවලට භාජනය වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි.
මේ තුළින් දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවත් එබැවින් අදාළ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාල පෙත්සමෙන් වැඩිදුරටත් අධිකරණයන් ඉල්ලා තිබුණා.