2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වනවා.
ඒ අනුව අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, සියලුම පොලිස් ස්ථාන, පොලිස් නිලධාරි කාර්යාල සහ විශේෂ පොලිස් ඒකකවල නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනියුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලටයි.
අද දිනයට අමතරව මෙම ක්ෂේත්රවල රාජකාරි කරන පුද්ගලයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන මස 04 වනදා ද අවස්ථාව සලසා දී තිබෙනවා.
මීට අමතරව ත්‍රිවිධ හමුදා කඳවුරු හා සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙන්කර ඇත්තේ නොවැම්බර් 01 සහ 04 යන දින දෙකයි.
ඉහත දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන සියලුම තැපැල් ඡන්ද හිමියන්ට නොවැම්බර් 07 සහ 08 යන දිනවල සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අදින් ආරම්භ වන තැපැල් ඡන්දයේ කටයුතු නිරීක්ෂණය සඳහා 1,000ක පිරිසක් යොදවන බවයි.
මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර අන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වනවා.
ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැදුනුම්පත, ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඒ සඳහා ඉදිරිපත් කළ හැකියි.
මෙම ඡන්ද විමසීමේදී තැපැල් ඡන්ද හිමියන් ස්වකීය රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම තැපැල් ඡන්ද හිමියා හඳුනා ගැනීම හෙවත් අනන්‍යතාව පරීක්ෂා කිරීම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්ය අධීක්ෂණයට තේරීම් භාර නිලධාරින් විසින් පත්කොට ඇති නිලධාරියා විසින් සිදුකල යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එසේ නොවන අවස්ථාවලදී රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන තැපැල් ඡන්ද හිමියන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවට සහතික කිරීමේ නිලධාරින් වෙත දන්වා සිටින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පසුගිය ඡන්ද විමසීම්වලින් පසුව ඒ සම්බන්ධයෙන් අනාවරණ වූ කරුණු සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.