Saturday, November 2, 2024

General line - 0115112241

ස්ථානාධිපතිවරුන් වර්ජනයක - දුම්රිය ධාවනයට බාධා නෑ




දුම්රිය ස්ථානාධිපතිවරුන් අද පස්වරු 04යි 30 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ රාජකාරීවලින් ඉවත් වීමෙන්. 

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බලපෑමක් සිදුව නොමැති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

කෙසේවෙතත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී ගැටලුවක් මතුව ඇති බවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළා. 

එලෙස ප්‍රවේශපත්‍ර ලබාගත නොහැකි මගීන්ට ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රිය ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.