Monday, December 23, 2024

General line - 0115112241

ඊශ්‍රායලයට සහ අමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇගවීම්.




ඊශ්‍රායල විසින් පසුගිය සතියේදී ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා.

ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේදී දරුණු ප්‍රතිචාර හිමිවනු ඇති බවයි ඉරාන අධ්‍යාත්මික නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 1979 වසරේදී ටෙහෙරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අල්ලා ගැනීමේ 45 වැනි සංවත්සරයට සමගාමීව පැවති උත්සවයකට එක්වෙමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි මේ බව ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව සිය රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කර තිබෙනවා.

පසුගිය සතියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් ඉරානයේ සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගිය බව එරට ආරක්ෂක අංශ තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

පසුගිය ඔක්තෝබර් මස පළමු වනදා ඉරානය එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊශ්‍රායලයේ රැකියාවල නිරතව නසිටින ලාංකිකයන් සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ පවතින ඉරානය සහ ඊශ්‍රායල අතර පවතින යුධ ගැටුම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ වන විටත් දැනුවත් කර ඇති බවයි.