Monday, January 13, 2025

General line - 0115112241

මාදිවෙල මන්ත්‍රී නිවාස භාර නොදුන් පිරිස ගැන අනාවරණයක්




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් ඔවුන් භාවිතා කළ නිල නිවාස මෙතෙක් භාරදී නොමැති බව වාර්තා වනවා. 

ඒ, පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා හිටපු මන්ත්‍රීවරුන්ට එම නිල නිවාසවලින් ඉවත් වන ලෙස පසුගියදා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය දැනුම් දී ඇති පසුබිමක් තුළයි. 

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණ නිල නිවාස තමන්ට අවශ්‍ය බව මේ වන විට දැනුම් දී තිබෙනවා. 

තවදුරටත් නවක මන්ත්‍රීවරුන්ට නිවාස අවශ්‍ය නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලෙසයි පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දැනුම් දී ඇත්තේ. 

ලබන 03 වනදා නවක මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල නිවාස ලබාදීම නියමිතව තිබෙනවා. 

පසුගිය දින දෙකේදී හිටපු මන්ත්‍රීවරුන් 15 කට ආසන්න පිරිසක් සිය බඩු බාහිරාදිය රැගෙන නිල නිවාසවලින් ඉවත්ව ගොස් ඇති බවද වාර්තා වුණා.

මේ අතර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් අද සිට ක්‍රියාත්මකයි. 

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්යභාර්ය, පාර්ලිමේන්තු වරප්‍රසාද ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන් දැනුවත් කරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එම් ජයලත් පෙරේරා මහතා පැවසුවේ.