Sunday, January 12, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය උසස් පෙළ විභාගයෙන් අනතුරුව ප්‍රකාශයට




පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ විභාගයට පෙනී සිටින සිසුන් පිළිබඳව සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි. 

යම් හෙයකින් එම විභාගය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කළහොත් පක්ෂ සහ අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කරනු ඇති. 

එසේ සිදු කළහොත් විභාගයට පෙනී සිටින සිසුන්ට සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමින් එම විභාගය අවසන් වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ, සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානාත්වයෙන්. 

පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාල නාම යෝජනා යළි කැඳවීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.