Sunday, January 12, 2025

General line - 0115112241

මහින්දානන්දට ප්‍රතිකාර ගන්න රට යන්න අධිකරණයෙන් අවසර

උදය කුමාර




හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද යළි විභාගයට ගත්තා. 

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000 ක් බැගින් ආනයනය කර ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 05 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම නඩුව ගොනුකර තිබෙනවා. 

ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විභාගයට ගැනුණා. 

එහිදී විත්තිකාර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළා. 

තමන්ට අල්ලස් කොමිසම විසින් චෝදනා හතරක් එල්ල කර ඇති බවයි හිටපු අමාත්‍යවරයා පැවසුවේ.

මෙම කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කිරීම ස.තො.ස ආයතනය හරහා සිදුවී ඇතැයි සඳහන් කළ මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා එම ක්‍රීඩා භාණ්ඩ තොගය ක්‍රීඩා අමාත්‍යංශයේ ගබඩාවලට ලැබී නොමැති බවත් පැවසුවා.

ඒ අනුව තමන්ට එල්ල කර තිබෙන චෝදනා පදනම් විරහිත බවත් එම භාණ්ඩ ආනයනය කිරීම සිදුවී තිබෙන්නේ ස.තො.ස සහ වෙනත් ආයතනය හරහා බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් තම පක්‍ෂය පරාජයට පත් වූ අතර ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීම සඳහා තමන් මුල් වී කටයුතු කළ බවයි එහිදී පැවසුවේ. 

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් රට පුරා පැවැත්වීමට තමන් දායකත්වය ලබාදුන් බවත් මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සඳහන් කළා.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙන්නේ තමන්ව දේශපාලන වශයෙන් පළිගැනීමකට ලක් කිරීමට යැයි ද සඳහන් කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා මෙම චෝදනාවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කළා.

ඉන්අනතුරුව වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 19 වනදා දක්වා කල් තැබුණා. මෙහිදී විත්තිය නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල දෙසැම්බර් මස 12 වනදා සිට 18 වනදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වීමට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අවසර ලබා දුන්නා.