පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙකු තීරණය කර තිබෙනවා.
මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂවල එකඟතාවය පළ වී ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා මීට පෙර දෙවතාවක් මුදල් කාරක සභාවේ සභාපති ධුරය හොඹවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද නෙත් නිවුස් වෙත අදහස් පල කළා.
මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවා.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා නම් කර ඇති බවයි එම පක්ෂය පැවසුවේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පිළිගන්නා ලෙස ඉල්ලමින් ලිඛිත දැනුම් දීම ඊයේ රාත්‍රියේ කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම තීරණයට එළැඹි බවයි ප්‍රකාශ කෙරුණේ.