Sunday, January 12, 2025

General line - 0115112241

මදුරන්කුලියේ නොසන්සුන්තාවක් පාලනයට පොලිසියෙන් වෙඩි




මදුරන්කුලිය, රෙඩ්බනාවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් පොළොවට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. 

පසුගියදා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශය ජල ගැලීමකට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. 

ඊට හේතු වූ පෞද්ගලික ඉඩමක් හරහා වැටී ඇති කාණුවක් පිරිසිදු කිරීමට ප්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා. කෙසේවෙතත් එම කාණුව සකස් කිරීමට ඉඩම් හිමිකරු අවසර ලබාදී නැහැ. 

ඒ සමඟ එම දෙපාර්ශවය අතර නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. එය පාලනය කිරීම සඳහා මදුරන්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් අනතුරුව මුන්දලම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ද එම ස්ථානයට කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

පොලිස් නිලධාරින් පැමිණීමත් සමඟ අදාළ පිරිස එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා. 

එම ස්ථානයේ තිබූ ට්‍රැක්ටර් රථ තුනක්, පහර දීමට රැගෙනවිත් තිබූ යකඩ බට, කැති සහ ලී මුගුරු සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.