Sunday, January 12, 2025

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාලව අධිකරණය දුන් නියෝගය

උදය කුමාර




එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට භාජනය වී තිබෙන ඊමේල් පණිවිඩවලට අදාල දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ පැමිණිල්ල යළි  අප්‍රේල් මස   29 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. 

එම අවස්ථාවේදී මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින අදාල නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සේවකයින් 07 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා. 

එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනවලදී ඇතැම් ඊමේල් පණිවිඩවලට අදාල දත්ත මකා දමා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා. 

මෙම ප්‍රශ්න ගත ඊමේල් පණිවිඩවලට අදාල දත්ත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විද්‍යාගාරයේ තිබෙන දත්ත ගබඩාවේ රඳවා තිබෙන බවත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම දත්ත ගබඩාව අක්‍රිය වී ඇති නිසා එම පිටපත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සඳහන් කළා. 
පෞද්ගලික සමාගමක සේවය ලබාගෙන එම දත්ත ගබඩාව පිළිසකර කිරීම සඳහා රුපියල් එක්කෝටි 21 ලක්ෂයක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. එම පිළිසකර කටයුතුවලින් පසුව අදාල දත්ත පිටපත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් එහිදී ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව එම කටයුතු ඉටු කිරීම සඳහා මාස තුනකට වැඩි කාලයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි සරත් ජයමාන්න, අනුර මැද්දෙගොඩ යන ජනාධිපති නීතිඥවරු සමග කරුණු දැක්වූ සෙසු නීතිඥවරු කියා සිටියේ මේ ආකාරයෙන් කල් ඉල්ලා සිටීම දැඩි අසාධාරණ බවයි. 

මෙම සිද්ධීන්වලට අදාල විමර්ශන කටයුතු අවසන්වීමට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ගත් පියවර නිවැරදි නොවන බව සඳහන් කළ  එම නීතිඥවරු මෙම සැකකරුවන්  නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉදිරි නඩු දිනවලදී මෙම නඩුකරයේ සැකකරුවන්  වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු පමණක් පෙනී සිටීම ප්‍රමාණවත් බව සඳහන් කළා. 

එහෙත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව දැනුම් දෙන අවස්ථාවක සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් විය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.