Sunday, January 12, 2025

General line - 0115112241

ලොකු පැටී තාමත් අත්අඩංගුවේ - බෙලරුස් රාජ්‍යය ලංකාවට දැනුම් දෙයි




මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ලද්දුව හැන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී නමැත්තා තවමත් බෙලරූස් අත්අඩංගුවේ පසුවන බව පොලීසිය පවසනවා. 

ඒ, ජාත්‍යන්තර පොලීසිය හරහා ශ්‍රී ලංකා පොලීසිය බෙලරූස් රාජ්‍යයෙන් කරන ලද කරුණු තහවුරු කර ගැනීමෙන් අනතරුවයි. 

2024 වසරේ අගෝස්තු මස 05වනදා සිට ලොකු පැටී නමැත්තා බෙලරුස් අත්අඩංගුවේ පසුවන බවයි එහිදී තහවුරු වී ඇත්තේ. 

ලොකු පැටී නමැත්තා බෙලරුස් අත්අඩංගුවෙන් නිදහස් වී ඇතැයි පසුගියදා විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා. 

ඒ අනුවයි ශ්‍රී ලංකා පොලීසිය, බෙලරූස් රාජ්‍යයෙන් ඒ පිළිබඳ කරුණු විමසා ඇත්තේ. 

2021 වසරේ ඔක්තෝබර් 08වනදා වැලිපැන්න ප්‍රදේශයේදී බෝම්බ සහ ස්වයංක්‍රීය ගිනි අවි සමග ලොකු පැටී නමැත්තා අත්අඩංගුවට පත්ව තිබුණා. 

ඊට අදාළ නඩුව විභාග වන්නේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේයි. 

එම නඩුව සම්බන්ධයෙන් ඇප හිමිවීමෙන් අනතුරුව ලොකු පැටී නමැත්තා විදෙස්ගත වී තිබුණා. 

ඒ අනුව ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කිරීමටයි කටයුතු කර තිබුණේ. 

ශ්‍රී ලංකා පොලීසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ හා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා බෙලරූස් රාජ්‍යයට මෙම රතු වරෙන්තුව සම්බන්ධයෙන් ද තොරතුරු ලබා දී තිබෙනවා. 

එමෙන්ම ලොකු පැටී නමැත්තා සමග රොටුඹ අමිල හා කංජිපානි ඉම්රාන් යන මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන්ද බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇතැයිද විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා. 

එහෙත් එවැනි කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇතැයි බෙලරුස් රාජ්‍යයෙන් මෙතෙක් තහවුරු කිරීමක් සිදු කර නොමැති බවයි පොලීසිය පැවසුවේ. 

රතු වරෙන්තුවක් නිකුත් කර ඇති පුද්ගලයෙකු කිසියම් රටක් විසින් අත්අඩංගුවට ගෙන ඇති නම් ඒ පිළිබඳ අදාළ රට දැනුවත් කිරීම සාමාන්‍යයෙන් සිදුවන කටයුත්තක්.

මේ අතර මෙම වසරේ ජූලි 08වනදා අතුරුගිරියේ සිදුවූ ක්ලබ් වසන්ත ඝාතනයටද ආධාර අනුබල දුන් බවට ලොකු පැටී නමැත්තාට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා.