Sunday, January 12, 2025

General line - 0115112241

බාර් පර්මිට් බෙදාගත් හැටි - සම්පුර්ණ විස්තරය




නැවත දැනුම්දෙන තෙක් කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා. 

ඒ, 2024 ජනවාරි මස පළමුවනදායින් පසු නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා ගනිමින්. 

අදාළ වාර්තාවට අනුව ලබා දී තිබූ සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව 361ක්. සුරාබදු කොමසාරිස් ජනරාල් යූ ඩී එන් ජයවීර මහතා පවසන්නේ ඉකුත් ඔක්තෝබර් මස 06වනදායින් පසුව කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවයි. 

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් ලබා දුන් මත්පැන් බලපත්‍ර 361ක් අතරින් වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතටයි. 

එම ප්‍රමාණය 110ක්. දකුණු පළාතට බලපත්‍ර 48ක්, මධ්‍යමට 45ක්, උතුරට 32ක් සහ නැගෙනහිරට 22ක් ලබා දී තිබුණා. 

උතුරු මැද පළාතට 14ක්, වයඹ, ඌව හා සබරගමුවට 30 බැගින්ද මත්පැන් බලපත්‍ර ලබා දී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මෙම බලපත්‍රවලින් 172ක්ම ලබා දී ඇත්තේ මත්පැන් සිල්ලරට විකිණීම හෙවත් වයින් ස්ටෝස් සඳහා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මීට අමතරව මත්පැන් තොග ලෙස අලෙවි කිරීමට, සුපිරි වෙළඳසැල්, හෝටල්, භොජනාගාර, තානායම් සහ සමාජ ශාලා බලපත්‍රද මේ යටතේ නිකුත් කර තිබුණා. 

බියර් සිල්ලරට විකිණීමට හා බියර්, වයින් ස්ථානීය පරිභෝජන බලපත්‍රද මේ යටතේ නිකුත් කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා. 

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරා බද්ධ සහ අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල පැහැර හැරීම හේතුවෙන්. 

ඒ අනුව අද දිනයේ සිට එම සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවනු ඇති. 

එමෙන්ම මුදල් හා අධිභාරය ගෙවීම පැහැර හරින්නේ නම් අදාළ සමාගමේ මත්පැන් ප්‍රවාහන කටයුතු ද අත්හිටුවීමටද නියමිතයි. 

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍රය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිත අතර එය තවදුරටත් දීර්ඝ නොකිරීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.