Sunday, January 12, 2025

General line - 0115112241

රේණුක පෙරේරාට ඇප

උදය කුමාර




මහා විරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් වීඩියෝ පට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේ. 

ඊට අමතරව මහවිරු සැමරුම් සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඔවුන් වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී නියම කළා. 

මෙම නඩුකරය මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළදී කැඳවනු ලැබුවා.

එහිදී  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඕස්ට්‍රේලියාවේ  පැවැති මහවිරු සැමරුම් උත්සව වලට අදාල වීඩියෝ පට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළා. 

මේ ආකාරයේ මහ විරු සැමරුම් උත්සව උතුරු පළාතේ පවත්වා නොමැති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ තුළින් ජාතීන් අතර නොසන්සුන්තාවයක් මතුවීමට හේතු වී තිබෙන බවත් පැවසුවා. 

මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශ කීපයක් සටහන් කරගෙන ඇති බවත් එම නිලධාරීන් සඳහන් කර සිටියා. 

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ඇන්ටන් සේනානායක සහ මනෝජ් ගමගේ ඇතුළු නීතිඥ මණ්ඩලය කියා සිටියේ මෙවර උතුරේ මහාවිරු සැමරුම් උත්සව පැවැති බවට විෂය භාර අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබූ බවයි. 

මහාවිරු සැමරුම් උත්සව  244 ක් හා කොටි ධජය ප්‍රදර්ශනය කළ අවස්ථා 10 වාර්තා වී තිබූ බව අමාත්‍යවරයා විසින්  ප්‍රකාශ කර තිබුණේ යැයි  එම නීතිඥවරුන් සඳහන් කර සිටියා. 

විෂය භාර අමාත්‍යවරයා පවා මහවිරූ උත්සව උතුරු පළාතේ පැවති බව පිළිගෙන තිබියදී එවැනි උත්සව නොපැවැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි එම නීතිඥවරුන් ප්‍රශ්න කර සිටියා. 

ඒ අනුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙසත් ඔවුන් ඉල්ලීමක් කළා.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ මෙම වීඩියෝ පටය නිර්මාණය කළ පුද්ගලයින් හා ඒවා පළ කළ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් පවත්වා තිබේද යන්නයි. 

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ එවැනි විමර්ශනයක් සිදු කර නොමැති බවයි. 

අදාල වීඩියෝ පට සකස් කළ සහ උඩුගත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් නොපවත්වා ඒවා හුවමාරු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටීම කොතරම් යුක්ති සහගත දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා මෙය පණිවිඩකරුට වෙඩි තැබීම හා සමාන බවත් එහිදී ප්‍රකාශ කළා.

පණිවිඩකරුට වෙඩි  නොතබා ඔහු පවසන දේ කුමක්දැයි විමර්ශනය කිරීම වැදගත් බවයි මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේ. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස නියෝග කළා. ඉන් අනතුරුව අදාල පැමිණිල්ල ජුනි මස 10 දා කැඳවන ලෙසත් එහිදී නියම කෙරුණා.

මේ අතර රේණුක පෙරේරා මහතාගේ ජංගම දුරකතනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.