2011 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් මෙරට රජයට රුපියල් බිලියන 18කට අධික පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
ඒ අනුව එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව අදාල විරෝධතා ජනවාරි මස 23 වනදා ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කළා.