Saturday, January 11, 2025

General line - 0115112241

වගා හානි කරන සතුන් පාලනයට අන්තර් අමාත්‍යංශයේ ඒකකයක්




රිලවුන්, වන අලින් සහ බෝගවලට හානි කරන අනෙකුත් සතුන් පාලනය සඳහා විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීමට අන්තර් අමාත්‍යංශ ඒකකයක් පිහිටුවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

එමෙන්ම මේ වන විට හදිසි ආපදා තත්ත්වය හමුවේ ගොවි ජනතාවගේ බෝගවලට සිදුව ඇති හානි සහ වාරි නිර්මිතයන්ට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කිරීමට ක්ෂණික පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදකයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

ගොවි ජනතාවට ඍජුව බලපාන කරුණු සම්බන්ධයෙන් ගත හැකි කෙටි කාලීන විසඳුම් පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් තම ඉඩම හෝ ගොවිපළ තුළදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ඇතැම් පාර්ශව විරෝධය පළකරනවා. 

එම ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි පොල්දුව මංසන්දියේදී ඊයේ විරෝධතාවක්ද පැවැත්වුණා. 

පරිසර සංවිධාන සහ සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක්ව සිටියා.

එම විරෝධයට එක්වූ පිරිස් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවයි.