Saturday, January 11, 2025

General line - 0115112241

නව රජයේ දූෂණ විරෝධි වැඩපිළිවෙලට අමෙරිකාවේ සහාය




වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා පවසනවා. 

ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට ද සූදානම් බවයි ඩොනල්ඩ් ලු මහතා පැවසුවේ. 

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී එම කරුණු අනාවරණය වුණා. 

දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙල මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක් කළා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.