නාඩු සහල් කිලෝවක් රුපියල් 225 ක තොග මිලකට හා රුපියල් 230 ක සිල්ලර මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ පිළිබඳ ඉදිරි දින 10 තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව නියම කරන ලද සහල් මිල පරිදි නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225 ක් වන අතර එහි සිල්ලර මිල රුපියල් 230 ක් වනවා.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215 ක් ලෙස සඳහන් වන අතර එහි සිල්ලර මිල රුපියල් 220 ක්.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 ක් වනවා.
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235 ක් වන අතර එහි සිල්ලර මිල රුපියල් 240 ක්.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 ක් වන අතර එහි සිල්ලර මිල සඳහන් වන්නේ රුපියල් 260 ක් ලෙසයි.
දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව එහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා, දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර සහල් හා පොල් සතොස වෙළඳසැල් හරහා සහන මිල ලබා ගැනීමට හැකියාව පවතින බව රජය පැවසුව ද ජනතාව චෝදනා කරන්නේ ඇතැම් සතොස වෙළඳසැල් තුළද සහල් හා පොල් හිඟයක් පවතින බවයි.