Saturday, January 11, 2025

General line - 0115112241

පොඩි ලැසීගේ බූස්සේ සිර කුටිය හදිසි පරික්ෂාවකට ලක් කෙරේ




බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසීගේ සිර මැදිරිය පිටුපස සහ ඔහු ස්නානය කරන ස්ථානයේ තිබී ජංගම දුරකථනයක් සහ උපාංග කිහිපක් සොයාගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදීයි.

එහි දී පොඩි ලැසි රඳවා සිටින සිර මැදිරිය පිටුපස තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ හැන්ඩ් ෆ්‍රී එකක් සොයාගෙන තිබෙනවා. 

එම ජංගම දුරකථනය තලා හානිකර විසිකර තිබියදී එලෙස සොයා ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

පොඩි ලැසී ස්නානය කරන ස්ථානයේ කොන්ක්‍රිට් කොටසක් යට සුක්ෂම ලෙස සඟවා තිබියදී තවත් ජංගම දුරකථන උපාංග කිහිපයක් සිය භාරයට ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. 

අදාල වැටලීමමේදී සොයා ගැනුණු ජංගම දුරකථනය සහ අනෙකුත් උපාංග වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදී තිබෙනවා.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා. 

අදාල සැකකරු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය කිහිපයක තොරතුරු වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් එම වාර්තා අසත්‍ය බවයි පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළේ. ලලිත් කන්නංගර නැමති අපරාධකරු මීට වසරකට පමණ ඉහතදී ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබුණා. 

කෙසේවෙතත් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණු අදාල සැකකරු පසුව මුදාහැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.