මීට මාස 22 කට පෙර කැඳවූ නාම යෝජනා අවලංගු කර රුපියල් කෝටි 72 කට වැඩි රාජ්‍ය මුදලක් අපතේ යවමින් පළාත් පාලන මැතිවරණය අවලංගු කළ වගඋත්තකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ අපයෝජන කළ කෝටි 72 ක මහජන ධනය, මීට වසර දෙකකට පෙර අදාල තීන්දුව ගත් පාලකයන්ගෙන් අයකර ගන්නා ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට අපේක්ෂා කරන බවයි.
“ප්රජාතන්ත්රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු - ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක්” යන තේමාව ඔස්සේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
උපුටා ගැනීම
“මීට මාස 22 කට පෙර කැඳවූ නාම යෝජනා අවලංගු කොට නව යෝජනා කැඳවීමට ද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත් වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.
විකෘතිය ප්‍රකෘතිය බවට පත් කිරීමේ මේ තීරණයට සියලුම දේශපාලන පක්ෂවල ද පුරවැසියන්ගේ ද ආශිර්වාදය හිමිවනවා නොඅනුමානය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම දේශපාලන ශුන්‍යභාවය වසා ගැනීමේ අප්රකාශිත අරමුණ සහිතව, 2023 ජනවාරි අග සතියේදී අත්තනෝමතික ලෙස ගනු ලැබූ මැතිවරණය අවලංගු කිරීමේ තීරණය නිසාවෙන්, පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට වියදම් කොට ඇති රුපියල් කෝටි 72 කට වැඩි රාජ්‍ය මුදල අපතේ යනු ඇතැයි මැතිවරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තාකොට තිබුණි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවකට ඇස්තමේන්තු ගත කරන ලද මුළු පිරිවැය රුපියල් බිලියන 08 කි. ඒ අනුව කිසිදු සාධාරණ හේතුවක් හෝ නොමැතිව මෙලෙස අපතේ යාමට නියමිත මුළු මුදල් ප්‍රමාණය අපේක්ෂිත මුළු වියදමෙන් සියයට 10 ක් බව නිරවුල්ය.
තවද මෙම අසීමිත ධනය පාලකයන් තම වතු ආදායමින් උපයා ගත් ඒවා හෝ තම පවුලේ ගිණුම්වලින් වෙන්කර ගත් මුදල් නොව මහජනතාවගේ රීරි මාංශ සූරා උපයාගත් බදු මුදල් බවද අතාර්ථිකය.
එබැවින් මහ බැංකු කොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි අප දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට පුංචි ඡන්ද මංකොල්ලය ලෙස මෙයද ඇතුළත් කළ යුතු අතර ව්‍යවස්ථාවෙන් හිමිකර ගෙන ඇති දේශපාලන වරප්‍රසාද නොසලකා වගඋත්තරකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය.”
උපුටා ගැනීම අවසන්.