Saturday, January 11, 2025

General line - 0115112241

තවත් දින කිහිපයකින් වෙළඳපොළේ යළිත් සහල් අර්බුදයක්




අලුතින් සහල් තොග තමන්ට ලැබීම තවමත් ඉතා අවම බව සහල් ව්‍යාපාරිකයින් පවසනවා. 

මරදගහමුල සහල් නිෂ්පාදන සංගමයේ සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ වර්තමානයේ වෙළඳපොළේ අලෙවි වන්නේ මීට පෙර ලැබී තිබූ සහල් තොග බවයි. 

රජයේ පාලන මිලට දැන් සහල් අලෙවි කිරීමට සිදුව ඇති බැවින් ව්‍යාපාරිකයින් පාඩු ලබමින් සිටින බවයි මරදගහමුල සහල් නිෂ්පාදන සංගමයේ සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ.

තවත් දින කිහිපයකින් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සතු වී සංචිත අවසන් වීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ඒ හේතුවෙන් වෙළඳපොළේ යළි සහල් අර්බුදයක් මතු වීමේ අවදානමක් පවතින බවයි මරදගහමුල සහල් නිෂ්පාදන සංගමයේ සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ.

ඔහු සඳහන් කළේ ඉදිරියේදී සුදු කැකුළු, සම්බා සහ නාඩු සහල් හිඟයක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවයි. 

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් මේ වන විටත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සහ රතු කැකුළු සහල් සඳහා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 220ක්. සුදු හා රතු නාඩු සඳහා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230 ක් වනවා. 

සම්බා සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 240 ක්.

වී තොග සහ සහල් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය දිගින් දිගටම වැටලීම්ද සිදු කරමින් පවතිනවා. 

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයින් පවසන්නේ තවමත් ප්‍රමාණවත් සහල් තොග නොමැති බවයි. 

ඇතැම් සතොස අලෙවිසැල්වලද සහල් ප්‍රමාණවත් නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මේ අතර මෙරටට ආනයනය කෙරෙන පළමු සහල් තොගය බොහෝදුරට ලබන 16 වනදා මෙරටට ලැබෙනු ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ.