Saturday, January 11, 2025

General line - 0115112241

අර්බුදය නිමා කරමින් සජබ ජාතික ලැයිස්තුව නම් කෙරේ




සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. 

මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ, නිශාම් කාරියප්පර් සහ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ් යන මහත්වරුන්ගේ නම් එලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර ඇතැයි සඳහන්. 

ඉකුත් මහමැතිවරණයේ සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05ක් හිමි වුණා. 

ඒ අතරින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කළා. 

ඒ අනුව පුරප්පාඩු වී තිබූ මන්ත්‍රී ධුර 04 සඳහා නම් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වාර ගණනාවක් පැවැත්වුණා. 

ඒ අනුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝ ගනේෂන් මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කර තිබෙනවා. 

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට මුල් අවස්ථාවේම ඇතුළත් කෙරුණු සුජීව සේනසිංහ මහතාද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කර ඇති අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිශාම් කාරියප්පර්ගේ නමද ඊට ඇතුළත්. 

අනෙක් මන්ත්‍රී ධුරය සඳහා නම් කර ඇත්තේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය වෙනුවෙන් මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ් මහතායි. 

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. 

ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

අදාළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවට සහභාගී වී අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා  මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.