Saturday, January 11, 2025

General line - 0115112241

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති කියයි




රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ  නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. 

ඒ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි. 

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙසද ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම  සිදු කරන  බවද ජනාධිපතිවරයා කියා සිටියා.

බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. 

ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ වර්ධනයන් සමස්තයක් ලෙස සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටද මෙහිදී අවධානයට යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මූල්‍ය පද්ධතිය තුළ පවතින සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති තවදුරටත් බලාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ආර්ථිකය ස්ථායී වීමත් සමග වත්කම්වල ගුණාත්මකභාවයෙහි ආරක්ෂිත වර්ධනයන් සහ විචක්ෂණශීලි ලෙස අවදානම් කළමනාකරණය කර ගනිමින් ප්‍රාග්ධනය ගොඩනැගීමත් සමග ඉදිරි මූල්‍ය පද්ධතියේ යහපත් කාර්ය සාධනයක් මෙමගින්  අපේක්ෂා කෙරෙනවා. 

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්  ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.