Sunday, January 5, 2025

General line - 0115112241

වැරදුනු සංඥාව නිසා රජරට රැජින හා සාගරිකා එකිනෙක ගැටෙයි




රජරට රැජින හා සාගරිකා දුම්රියේ එන්ජිම බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

අනුරාධපුරය සිට බෙලිඅත්තේ දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එන්ජිම මාරු කිරීමේදී ලබාදුන් වැරදි සංඥාවක් හේතුවෙන් එම එන්ජිම වැරදි පීල්ලේ ධාවනය වී එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු පැවසුවේ එම අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව ඇති බවත් එම දුම්රිය වෙනුවට වෙනත් විශේෂ දුම්රිය ධාවනයට එක්කර බවයි.

මේ අතර බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති අතර රජරට දුම්රියේ රියදුරුගේ ද වැඩ තහනම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.