Monday, December 23, 2024

General line - 0115112241

පිළිගැනීමේ නිල උත්සවයේදී ජනපති අනුරට ඉන්දියාවෙන් මහත් හරසර - පස්වරුවේ ද්වි පාර්ශවික සාකච්ඡා කිහිපයක්




ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන්හීදී අද පෙරවරුවේ පැවැත්වුණා. 

ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්දු මහත්මිය, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව තිබෙනවා. 

එම නිල උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා රාජ්ගාද්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිතයි. 

ඉන් අනතුරුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ. 

එම සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හීදි පැවැත්වීමට නියමිතයි. 

එහිදී අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටද, ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමද සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ. 

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපතිරයා අතර හමුව අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්දු මහත්මිය අතර සාකච්ඡා රාෂ්ඨපතිබවන්හීදී පැවැත්වෙනු ඇති.