Monday, December 23, 2024

General line - 0115112241

ඉන්දියාවේ ආරක්ෂාවට හානිවන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ජනපති කියයි




ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී අද පස්වරුවේ පැවැත් වුණා. 

ඉන් අනතුරුව ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු - ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් ඉදිරියේ හුවමාරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව තමන් හොඳින් දන්නා බව ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. 

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳ තමන් සතුටු වන බවයි.

අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවයට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු වී තිබෙනවා.

ඉන්දීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200 කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි. 

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1,500 ක් ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා.

එසේම නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කරනු ඇති. 

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ආරක්ෂක සහයෝගිතාව යටතේ සමුද්‍ර ආරක්ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා.    

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට එහිදී ආරාධනා කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.