Tuesday, December 24, 2024

General line - 0115112241

ජනපති අනුර ඉන්දීය ජනපති සහ උප ජනපති හමුවෙයි




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් ඊයේ රාත්‍රියේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී සිදුව තිබෙනවා. 

ඉන්දු - ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනමා තිබෙනවා. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් ද සිදුව තිබෙනවා. 

පසුගිය ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

එම හමුවේදී දෙරටේ ආර්ථික සහයෝගීතාව, කෘෂිකර්මය හා  ඩිජිටල්කරණය ආදී විෂයයන් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය, භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජගත් ප්‍රකාශ් නද්දා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතරද හමුවක් ද ඊයේ දිනයේදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.