Tuesday, December 24, 2024

General line - 0115112241

මන්ත්‍රී අර්චුනාට යාපනය රෝහල තහනම් කලාපයක් කෙරේ

දිනසෙන් රතුගමගෙ




පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා වෛද්‍යවරයා යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙනත් හේතුවක් සදහන් නොකොට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලුවීමට උත්සහ කරන්නේ නම් වහාම ඔහු අල්ලා පොලීසියට බාර දෙන ලෙස එම රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහල් ආරක්ෂක නිලධාරීන්ට දැණුම් දී ඇති බව වාර්තා වනවා. 

අර්චුනා මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරීන්ට පහර දීමට සූදානම් වුවත් පෙරලා ඔහුට පහර නොදෙන ලෙසත් ආරක්ෂිත ගේට්ටු වසා දමා ඔහුව අල්ලා පොලීසියට දැණුම් දෙන ලෙසත් යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා ආරක්ෂක නිලධාරින්ට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට රෝහල් අධ්‍යක්ෂවරයා “සර්” යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීම හේතුවෙන් ඔහු දැඩි ලෙස උරණව සිටින බවත් ඔහු යළිත් හදිසියේම යාපනය ශීක්ෂණ රෝහල තුලට කඩා වැදී කුමන හෝ කලබලයක් සිදු කළ හැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝහලේ කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මීට පෙර යාපනය ශීක්ෂණ රෝහල තුලට කඩා වැදී නොසන්සුන් ලෙස හා ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරුණු අවස්ථාවේදී රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් අර්චුනා මන්ත්‍රීවරයා දැඩි ලෙස උරණ වී යාපනය සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් චෝදනාත්මක ස්වරූපයකින් අදහස් දක්වා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාල සිදධිය සම්බන්ධයෙන් පොලීසිය යාපනය අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසුව පසුගියදා අධිකරණය හමුවේ පෙනී සිටි අර්චුනා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. 

ලබන වසරේ පෙබරවාරී මස 07 වනා මන්ත්‍රීවරයා හා ඔහු සමග යාපනය ශීක්ෂණ රෝහලට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

මින් ඉදිරියට යාපනය ශීක්ෂණ රෝහලට බලහත්කාරයෙන් ඇතුලු වී එහි පාලනයට බාධා එල්ල වන ආකාරයට හෝ වෙනත් පොදු ස්ථාන වලට ගොස් තර්ජන එල්ල නොකරණ ලෙසත් විනීතව හැසිරෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් එම මන්ත්‍රීවරයාට දැණුම් දී තිබෙනවා. 

මේ අතර යාපනයේ දේශපාලනඥයින් හා විද්වතුන් කිහිප දෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත්තේ අර්චුනා මන්ත්‍රීවරයා මානසික විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට කතානයකවරයා හෝ වෙනත් වගකිවයුත්තෙකු කටයුතු කළ යුතු බවයි.