Tuesday, December 24, 2024

General line - 0115112241

දූෂණ චෝදනා එල්ල වූ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරියෙකුට අධි චෝදනා භාරදෙයි

උදය කුමාර




2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වූ සුභසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක මහතාට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙනු ලැබුවා. 

ඒ, අල්ලස් කොමිසම විසින්. 

එම අධි චෝදනා පත්‍රය භාරදීම සිදු කෙරුණේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේයි. 

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා.

නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුට විදේශගත වීම තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කළා. 

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ජනවාරි මස   30 වනදා කැඳවීමට ද නියම වුණා. 

2015 වසරේ අප්‍රේල් මස 07 වනදා සහ 2016 වසරේ ජූලි මස 15 වනදා අතර කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් ටෙක්නො මෙඩීස් ඉන්ටර්නැෂනල් නැමති සමාගමෙන් ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීම සඳහා අනුමත කිරීම තුළින් රජයට පාඩුවක් සිදුකොට ”දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව එම අධි චෝදනා භාරදී තිබෙනවා.