Tuesday, December 24, 2024

General line - 0115112241

අර්චුනාගේ මන්ත්‍රී ධූරය බල රහිත කරන ලෙස ඉල්ලූ පෙත්සමක් සලකා බැලීමට දින දෙයි




යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට ජනවාරි මස 15 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. 

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 15 වනදා කැඳවන ලෙසයි. පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් බවයි. 

රජයේ සේවයෙන් ඉවත් නොවී එලෙස නාමයෝජනා භාරදීම නීති විරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කළා. 

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කර එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.