Monday, December 23, 2024

General line - 0115112241

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිටි 27ක් මුදාගනිමින් දිවයිනට ගෙන්වයි




මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු, බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් අද දිවයිනට ගෙන්වා ගෙන තිබෙනවා.

කණ්ඩායමට කාන්තාවන් 08 දෙනෙකුද ඇතුළත් අතර, ඔවුන් ආරක්ෂිතව ඔවුන්ගේ පදිංචි ස්ථාන වෙත රැගෙන යාමට විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

මෙම කණ්ඩායම නීති විරෝධී සයිබර් අපරාධ සහ මිනිස් ජාවාරම් මෙහෙයුම්වලට ගොදුරුවී සිටි අතර, තවදුරටත් මියන්මාරයේ මිනිස් ජාවාරම්කරුවන්ගෙන් තවත් 14ක් මුදාගැනීමට කටයුතු සකස් කර තිබෙනවා.

ඉහත මෙහෙයුම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්ත හා මියන්මාර රජයන් අතර අඛණ්ඩ සම්බන්ධීකරණයක් මඟින් සිදු වූ අතර, ජාත්‍යන්තර සංවිධානවල සහ පූජ්‍ය මාලිගාවිල අස්සජි හිමියන්ගේ සහයත් ලැබ තිබුණා.

නව රජය පත්වීමෙන් පසු (2024 නොවැම්බර් සිට දෙසැම්බර් 16 දක්වා) මියන්මාරේ සිට 63 දෙනෙකු දිවයිනට ගෙන්වා ඇති අතර, මිනිස් ජාවාරම්වලට ගොදුරුවීම වැළැක්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් පූර්ණ විග්‍රහය සහිත නියමිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඉල්ලා සිට්නවා.

විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට, http://www.slbfe.lk හෝ 1989 ඇමතුම් මධ්‍යස්ථානය හරහා වැඩි විස්තර ලබා ගැනීමට හැකියාව තිබෙනවා.