Tuesday, December 24, 2024

General line - 0115112241

ඊ විදේශ ගමන් බලපත්‍ර ගැන නීතිපතිවරයාගෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමක්.

උදය කුමාර




ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සඳහා ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. 

ඒ, අදාළ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි. 

එහිදී මෙම පෙත්සමට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා සඳහන් කළේ ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අධිකරණය තීන්දු කර ඇති බවයි. 

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම ටෙන්ඩරය පිළිබඳ  ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකළ විමර්ශනවලට අදාළ ලිපියක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම් දුන්නා.

ඊට අමතරව මෙම ටෙන්ඩරය පිළිබඳ ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කර තිබෙන නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමුකරීමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව අද පෙරවරුවේ දැනුම් දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයට දැනුම් දුන්නා. 

ඒ අනුව කටයුතු කරන ලෙස වග උත්තරකරුවන්ට දැනුම්දුන් අධිකරණය අදාළ පෙත්සම පිළිබඳ විභාගය ජනවාරි මස 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.