Monday, December 23, 2024

General line - 0115112241

ඉන්දියාව, කොවිඩ්වලටත් වඩා දරුණු අවදානමක




ඉන්දියාවේ වායු දූෂණය, කොවිඩ් වසංගතයට වඩා මහජන සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කරන බවට ඉහළ පෙළේ විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා. 

ඒ, දිල්ලියේ වායු දූෂණය යළිත් වරක් අනතුරුදායක මට්ටම දක්වා ඉහළ යාමත් සමගයි.

මේ වන විට වාතයේ ගුණාත්මකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති ආරක්ෂිත සීමාවට වඩා 35 ගුණයකින් වැඩි වී තිබෙනවා. 

ජනතාව පවසන්නේ හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම ඇස් සහ උගුරේ කැසීමේ රෝග ලක්ෂණ පවතින බවයි. පවතින තත්ත්වයේ වැඩිම අවදානමක් ඇත්තේ ළමයින් සහ වැඩිහිටියන්ටයි. 

ඒ අනුව වායු දූෂණයේ අවදානම සලකා මුව ආවරණ පළඳින ලෙසටයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ. හැකිතාක් ගෘහස්ථව රැඳී සිටින ලෙස ද බලධාරීන් ජනතාවට දන්වා තිබෙනවා. 

සෑම ශීත සෘතුවකම, දිල්ලි සහ ඒ ආසන්න ප්‍රාන්තවල අඩු සුළං වේගය, වාහන දුම් විමෝචනය සහ බෝග අවශේෂ සහ දර ගිනි තැබීම හේතුවෙන් දැඩි වායු දූෂණයක් ඇති වනවා. 

පවතින තත්ත්වය සලකා දිල්ලි බලධාරීන් මේ වන විට දැඩි පරිසර දූෂණ පාලන ක්‍රියාමාර්ග යළි හඳුන්වා දී තිබෙනවා. 
ඒ අනුව සියලුම ඉදිකිරීම් සහ කඩා ඉවත් කිරීම්ද තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන ඒවා හැර ලොරි සහ බර වාහන නගරයට ඇතුළුවීම ද තහනම් කර තිබෙනවා.