Monday, December 23, 2024

General line - 0115112241

ලංකා ටී 10 ශූරතාව දසුන් ශානක නායකත්වය දැරූ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට




ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. 

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලැබූ එම තරඟාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්. 

ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කළා. 

මොහොමඩ් ෂෙසාඩ් සහ ෂෙවොන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස් කළ අතර, නායක දසුන් ශානක පන්දු 10කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 21ක්. පන්දුයැවීමේදී ට්‍රවේන් මැතිව් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා. 

ලකුණු 133ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10දී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණයි. 

ටොම් අබෙල් නොදැවී ලකුණු 54ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ. 

පන්දු යැවීමේදි රිචඩ් ග්ලීසන් ලකුණු 21කට කඩුලු 3ක් සහ නායක දසුන් ශානක ලකුණු 4කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා. 

ඒ අනුව ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණා. 

දින 9ක් පුරා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි.