Thursday, January 9, 2025

General line - 0115112241

ගල්කිස්ස ද්විත්ව ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගැනේ

බිමල් ශ්‍යාමන්




ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.       

හොරණ, මුණගම අතුරු මාර්ගයක දමාගොස් තිබියදී එම යතුරුපැදිය සොයාගෙන ඇත්තේ හොරණ මූලස්ථාන පොලිසිය විසින්. 

එම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වුණේ අවුරුදු 36 සහ 20 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. 

මීගොඩ, අලූත් පාර ප්‍රදේශයේ නර්තන ශිල්පියෙකුට අයත් එම යතුරු පැදිය පසුගිය 04වන දින ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පැවැති පෙරහැර අවස්ථාවේදී සොරාගෙන ගොස් තිබූ බවට එම පුද්ගලයා විසින් හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇති බවයි පොලිසිය පැවසුවේ. 

යතුරුපැදිය එම ස්ථානයේ දමා ගිය වෙඩික්කරුවන් හඳුනා ගැනීම සඳහා හොරණ පොලිසිය, බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ සිදුකරනු ලබනවා.