Friday, January 24, 2025

General line - 0115112241

කඩයිම් ලකුණ අඩු වූ හේතු ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් පැහැදිලි කිරීමක්




2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් සිසුවා ලකුණු 188ක් ලබා ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. 

විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. 


පළමු ස්ථාන 10 හිමි කර ගත් සිසුන් 18 දෙනෙකු සිටින අතර ඉන් 11 දෙනෙකු පිරිමි දරුවන් වන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. 

කෙසේවෙතත් කඩයිම් ලකුණු සීමාව ඉක්මවා ගිය සිසුන් 51,244 දෙනා අතරින් වැඩි ප්‍රතිශතයක් ගැහැණු දරුවන් වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.


මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණුද විභාග දෙපාර්තමේන්තුව මගින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍යවල ඉහළම කඩයිම් ලකුණ 143ක් වනවා. 

මෙවර විභාගයේ කඩයිම් ලකුණු සීමාව පෙර වසරවලට සාපේක්‍ෂව අඩු වී ඇති අතර ඊට බලපෑ හේතු පිළිබඳවද විභාග කොමසාරිස් ජනරාල්වරයා එහිදී කරුණු දැක්වූවා.