පොලිස් ස්ථාන සඳහා නව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන ආකාරය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව වසර තුනකට වැඩි කාලයක් පොලිස් ස්ථානවල සේවයේ නියුතු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් එම කාලය තුළ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු සොයාබලා ඔවුන් පිළිබඳ දත්ත විශ්ලේෂණ වාර්තාවක් සකස් කිරීමට පොලිසියේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පොලිස් මූලස්ථාන පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අලුතින් පත් කිරීමේදී චෝදනා එල්ල වූ පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර පොලිස් රථවාහන අංශයේ මේ වන විට ඉහළ තනතුරු දරණ ඇතැම් පොලිස් නිලධාරින් විසින් පොලිස් ස්ථානාධිපති තනතුර ලබා ගැනීම සඳහා අවශ්‍ය ඇතැම් සුදුසුකම් සම්පූර්ණ කර නොමැති බවද වාර්තා වනවා.
නොයෙකුත් කණ්ඩායම්වලින් මුදල් ලබාගත් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.