Thursday, January 30, 2025

General line - 0115112241

මන්ත්‍රී සුජීවට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් නියෝගයක්

උදය කුමාර




නීති විරෝධී ලෙස වාහනයක් එකලස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

සුජීව සේනසිංහ මහතා සිය පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ නීති විරෝධී ලෙස වාහන එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට ලබන 05 වනදා එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිතාසිය ලබාගෙන තිබෙන්නේ වැරදි සහගත කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් බවත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු අදාළ සිතාසිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් සුජීව සේනසිංහ මහතා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.