Friday, January 31, 2025

General line - 0115112241

ආනයන බහාලු‍ම් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්




ආනයන බහාලු‍ම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ පැහැදිලි කරමින් ශ්‍රී ලංකා රේගුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

2020 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රේගුව භාණ්ඩ නිදහස් කිරීමේදී සිදු කරනු ලබන ක්‍රමවේදය සහ භෞතික පරික්‍ෂණය සඳහා තෝරා ගත් බහාලුම් නිදහස් කිරීමට ප්‍රමාද වූ හේතු පිළිබඳව  එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට පළපුරුදු ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරික්‍ෂණ ඒකකයක් පිහිටුවා එයින් අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන ආනයන බහාලුම් තෝරා නිදහස් කිරීමට පියවර ගත් බව එම නිවේදනයේ සඳහන්. 

එමෙන්ම රේගු දත්ත පද්ධතිය හරහා ආනයන බහාලුම්වලින් සියයට 60ක් පමණ දෛනිකව භෞතික පරික්‍ෂාවකින් තොරව නිදහස් වන බවත් දක්වා තිබෙනවා. 

එසේම ඉහත සඳහන් බහාලු‍ම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලු‍ම් කිසිවක් අඩංගු නොවන බවත් සඳහන්. 

එමෙන්ම එමගින් අවි ආයුධ, රත්‍රන් හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධීව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොපැවති බවත් ශ්‍රී ලංකා රේගුව මගින් දක්වා ඇති අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.