Sunday, January 12, 2025

General line - 0115112241

ලෝක ළමා දිනය අදයි! සොඳුරු ළමා ලොව සුරකින්න – වැඩිහිටියනි දෑත දෙන්න




ලෝක ළමා දිනය අදට යෙදී තිඛෙනවා. සොඳුරු ළමා ලොව සුරකින්න – වැඩිහිටියනි දෑත දෙන්න යන්න මෙවර එහි තේමාවයි.

ඒ වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමටත්, අධ්‍යාපනයේ අයිතීන් තහවුරු කර දී සුරක්ෂිත පරිසරයක හැදී වැඩීමටත් අවකාශය සපයා දීමටත් විශ්වීය වශයෙන් අප සියලූ දෙනා බැඳී සිටින බවයි.

රටක් ලෙස මෙම අවශ්‍යතා සියල්ල සපුරාලීමට නොහැකි වන්නේ නම් කිසිසේත් සතුටට පත්විය නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සෑම දරුවෙකුම මෙලොව එළිය දකින්නේ සොබා දහමේ අසිරිමත් නිමවුම් පිළිබඳව ඇවිලූණු කුතුහලයකින් යුතුවයි. විශ්මයෙන් අයාගත් නෙතින් ද, ප්‍රහර්ෂණයෙන් විවිර කරගත් මුවින් ද ඔවුන් ලෝකයේ සෞන්දර්යත්වය සහ විචිත්‍රත්වය විඳීමට උත්සහ දරනවා. එම නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීම සියලූ දෙනාගේ වගකීමක් වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

දරුවන්ට එරෙහිව නැගෙන ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් අප තවමත් පීඩා විඳිනවා. පවුල, පාසල සහ ඥාති හිත මිත්‍ර සමාජය ඇතුළු සියලූ ස්ථාන දරුවන් සඳහා සුදුසු ස්ථාන බවට පත් කළ යුතුයි. එහි බරපතල සමාජ මෙහෙයුමක් සියලූ දෙනා වෙත පැවරී ඇති බවයි ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවිඩය මගින් අවධාරණය කර ඇත්තේ.

මේ අතර අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිඛෙනවා. සුරක්ෂිත සමාජයක සමබර පෞර්ෂ වර්ධනයක් සහිතව හැදී වැඩීමට දරුවන්ට ඉඩ ලබදිය යුතුයි. එවිට වඩාත් සුන්දර වූ ලෝකයක් පහසුවෙන් නිර්මාණය කරගත හැකි බවයි අග්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ උත්සවයක් රුවන්වැල්ල මහජන කී්‍රඩාංගණයේදී අද දවස පුරා පැවැත්වෙනවා. ළමා දින සැමරුම් ගීත ගායනා තරග, චිත්‍ර තරග, මැජික් සංදර්ශන ඇතුළු කුඩා දරුවන් වෙනුවෙන්ම විශේෂිත වූ අංග රැසක් ඊට ඇතුළත්. ලෝක ළමා දින රන්වැලි සැමරුම ලෙස නම්කර ඇති මෙම වැඩසටහන සදහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිද විශේෂ උත්සවයක්  පැවැත්වීමට නියමිතයි.එයටද මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.