Saturday, January 11, 2025

General line - 0115112241

සියලු පුරවැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්




සියලු ශ‍්‍රී ලාංකිකයන්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අභිලාෂයෙන් වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි දශකයේ දී නිවාස සංවර්ධන ඉලක්කයේ වේගවත් ඉදිරි පිම්මක් තැබීමට රජය බලාපොරොත්තු වන බවයි.

අදට යෙදෙන ලෝක ජනාවාස දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වන්නේ ‘‘නිවාසකරණය මුල්තැනට’’ යන්නයි. නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශ ආවරණය වන ලෙස සැලසුම් කර ඇති නිවාස ව්‍යාපෘතිවලින් සුරක්ෂිත පවුලක් ගොඩනගා ගැනීමට සියලු ශ‍්‍රී ලාංකිකයින්ට අවස්ථාවක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී ඇත්තේ.

ලෝක ජනාවාස දිනය සැමරීමේ ජාතික උත්සවය පොළොන්නරුවේ දී අද පැවැත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස.

“මෙවර ලෝක ජනාවාස දිනය අපි සමරන්නේ ඈත දුෂ්කර බලප්‍රදේශයක. පොලොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. ලෝක ජනාවාස දිනය කේන්ද්‍ර කරගෙන අපි උදාගම ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට පත්කරනවා.

භයන්කාර වකුගඩු ව්‍යසනයෙන් පීඩාවට පත්වුණු පවුල් 600කට , පවුලකට රුපියල් ලක්ෂ 5 බැගින් තමන්ගේ නිවෙස් හදාගන්නට අපි දිඹුලාගලදී පරිත්‍යාගයන් ඉෂ්ඨ සිද්ද කරනවා”.

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ක‍්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළා.