Saturday, January 11, 2025

General line - 0115112241

විදුලිබිල වැඩි කිරීමට මණ්ඩලය සූදානම්




විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලබාදෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම කොමිෂන් සභාවේ විදුලි ගාස්තු හා අය ක‍්‍රම අංශයේ අධ්‍යක්‍ෂ කාංචන සිරිවර්ධන පැවසුවේ සියයට 5 කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මණ්ඩලය අවසර ඉල්ලා ඇති බවයි.

ඔක්තෝම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි මාස 6 ක කාලයක් සදහා විදුලි ගාස්තු වැඩි කිරීමටයි ඔවුන් අවසර ඉල්ලා ඇත්තේ.

පවතින ගාස්තු ක‍්‍රමය ඉදිරියටත් කි‍්‍රයාත්මක වුවහොත් මාසිකව රුපියල් මිලියන 850 ක පාඩුවක් සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් ඔක්තෝම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමටයි මණ්ඩලය අවසර ඉල්ලා තිබුණේ.

කෙසේවෙතත් අදාළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත යොමුකරනු ලැබ තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට කිසිඳු අනුමැතියක් ලබානොදෙන බවයි.
කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීම තවදුරටත් අධ්‍යයනය කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ජනතා අදහස්ද විමසන බව කොමිෂන් සභාවේ විදුලි ගාස්තු හා අය ක‍්‍රම අංශයේ අධ්‍යක්‍ෂ කාංචන සිරිවර්ධන වැඩිදුරටත් කියාසිටියා.