Saturday, January 11, 2025

General line - 0115112241

අධිකරණ විධිවිධාන සංශෝධන පනත අද මැති සබයට




අධිකරණ විධි විධාන සංශෝධිත පනත් කෙටුම්පත අද (04) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

මෙම සංශෝධන පනත් කෙටුම්පත තුළින් අධිකරණවල දීර්ඝ කාලයක් තිස්සේ ඇති හිමිකරුවෙකු නොමැති නඩු භාණ්ඩ කඩිනමින් ඉවත් කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇති.

මෙහිදී සංශෝධනය කිරීමට නියමිතව ඇත්තේ අදාළ පනතේ 431 වන වගන්තියයි.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ හෙට (05) දිනයේදීයි.

කෙසේවෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විහාර දේවාලගම් හා ථේරවාදි භික්‍ෂු කතිකාවත් යන පනත් කෙටුම්පත් දින නියමයකින් තොරව කල් දැමීමට පක්‍ෂ නායකයින් ඊයේ (03) තීරණය කළා.

නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසුවේ එක් එක් නිකායන් සහ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳ ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා හා කථානායකවරයා සමග සාකච්ඡා කළ බවයි.

තවදුරටත් ඒ පිළිබඳ සලකා බැලිමේ අරමුණින් අදාළ පනත් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කළ බවද අමාත්‍යාංශය සඳහන් කළා.